මද්‍යසාර අවභාවිතය

මද්‍යසාර අවභාවිතය සඳහා වන ප්‍රතිකාර විකල්පයන් ඔබේ මත්පැන් භාවිතයේ ප්‍රමාණය හා ඔබේ උත්සාහය මත්පැන් අඩු කිරීමටද ඉන් සම්පූර්ණයෙන්ම වැළකීමටද යන්න මත රඳා පවතී.

කෙටි මැදිහත් වීම්

ඔබේ මත්පැන් පානය වැඩි යයි ඔබට හැඟෙයි නම් හෝ මත්පැන් නිසා හදිසි අනතුරු හා තුවාල සිදු වී ඇත්නම්, ඔබට කෙටි මැදිහත් වීමක් ලෙස හැඳින්වෙන කෙටි උපදේශන සැසියක් ලබා දෙනු ඇත.

කෙටි මැදිහත් වීමක් විනාඩි පහක් දහයක් පමණ කාලයක් ගන්නා අතර, ඔබේ මත්පැන් පානය කිරීමේ රටා හා සබැඳි අවදානම්, ඔබේ මත්පැන් පානය අඩු කිරීමට උපදෙස්, ඔබට සම්බන්ධ විය හැකි මද්‍යසාර සහයෝගිතා ජාල, හා ඔබේ මත්පැන් පානයට අදාල චිත්තවේගී ගැටලු යන මාතෘකා ආවරණය කෙරෙයි.

ඇතැම් විට ඔබ සතියකට පානය කරන මද්‍යසාර ඒකක ප්‍රමාණය වාර්තා කිරීමට "මත්පැන් දිනපොතක්" තබා ගැනීම නිර්දේශ කළ හැක. ඔබට, මිතුරන් සමග එළියට ගිය විට මත්පැන් වෙනුවට සිසිල් බීම පානය කිරීම වැනි කණ්ඩායමක් සමග මත්පැන් පානය සම්බන්ධ උපදෙස් ලබා දිය හැක.

මත්පැන් අඩු කිරීම හා සම්පූර්ණයෙන් වැළකීම

ඔබ පහත දැක්වෙන ආකාරයේ කෙනෙක් නම් මත්පැන් අඩු කිරීම හා එයින් වැළකීම ප්‍රතිකාර විකල්පයන් වේ:

  • නිතිපතා සතියකට මද්‍යසාර ඒකක 14 කට වඩා වැඩියෙන් භාවිතා කරයි නම්
  • ඍජුවම මද්‍යසාර භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු අත්දකියි නම්
  • මත්පැන් නොමැතිව සාමාන්‍ය කටයුතු සිදු කළ නොහැකි නම් (මත්පැනට ඇබ්බැහි වීම)

මද්‍යසාර භාවිතය සම්පුර්ණයෙන්ම නැවැත්වීම වඩා වැඩි සෞඛ්‍ය වාසියක් ලබා දෙයි. කෙසේ වෙතත් මත්පැන් පානය අඩු කිරීම වඩා තාත්ත්වික ඉලක්කයක් වන අතර, අවම වශයෙන් සම්පූර්ණයෙන්ම වැළකීමට යන ගමනේ පළමු පියවරක් වේ.

අවසන් වශයෙන්, තේරීම ඔබ සතු වන නමුත්, සම්පූර්ණයෙන්ම වැළකීම දැඩි ලෙස නිර්දේශ කෙරෙන පහත ආකාරයේ අවස්ථා ඇත:

  • අක්මාවට, අක්මා රෝග හෝ සිරෝසිස් වැනි හානි සිදු වී තිබේ නම්
  • මත්පැන් පානය නිසා තවත් නරක අතට හැරිය හැකි හෘද රෝග වැනි වෙනත් වෛද්‍ය ගැටලු ඇත්නම්
  • මානසික ඖෂධ වැනි, මද්‍යසාර සමග නරක ලෙස ප්‍රතික්‍රියා කළ හැකි ඖෂධ ගනියි නම්
  • ගර්භණී හෝ ගර්භණී වීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්

කලින් මත්පැන් පානය අඩු කිරීමට උත්සාහ කර අසාර්ථක වී ඇත්නම්ද සම්පූර්ණයෙන්ම වැළකීම නිර්දේශ කරනු ඇත.

ඔබ මද්‍යසාර අඩු කිරීම තෝරා ගන්නේ නම්, ඔබේ වර්ධනය ඇගයීමට ලක් කිරීම සඳහා තවදුරටත් උපදේශන සේවා වලට සම්බන්ධ වීමට උපදෙස් ලැබෙනු ඇති අතර, අවශ්‍ය වුවොත් වැඩිදුර ප්‍රතිකාර හා උපදෙස් ලබා දෙනු ඇත.

ඔබේ අක්මාවේ සෞඛ්‍ය තත්වය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කිරීම සඳහා ඔබට නිරන්තර රුධිර පරීක්ෂණ සිදු කරනු ඇත.

විසහරණය හා මත්පැන් නැවැත්වීම නිසා ඇති වන රෝග ලක්ෂණ

ඔබේ මත්පැන් පානයට ඇබ්බැහි වී ඇත්නම්, ඔබේ මත්පැන් පානය නැවැත්වීම නිවැරදිව කිරීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කෙරේ.

සමහර අයට මත්පැන් සම්පූර්ණයෙන් නැවැත්වීමට උපකාර වීම සඳහා ඖෂධ ලබා දෙනු ඇත. ඔබට ස්වසාධන කණ්ඩායම් (self help groups), වැඩි දුර උපදේශන සේවා, සංජානන චර්යාත්මක චිකිත්සාව (cognitive behavioural therapy) වැනි වාචික චිකිත්සා වැනි විකල්ප වලට සහභාගී වීමටද තීරණය කළ හැක.

විෂහරණය සිදු කරන විට කොහේදී හා කෙසේ විෂහරණයට ලක් කෙරෙනු ඇත්දැයි තීරණය කිරීම ඔබේ ඇබ්බැහි වීමේ මට්ටම අනුව කෙරෙනු ඇත. බරපතල නොවන අවස්ථාවලදී, මත්පැන් නැවැත්වීම නිසා ඇති වන රෝග ලක්ෂණද බරපතල නොවන නිසා ඔබට විෂහරණය ගෙදරදීම ඖෂධ භාවිතයෙන් සිදු කළ හැකි විය යුතුය.

ඔබේ මත්පැන් භාවිතය ඉතා අධික (දවසකට ඒකක 20ට වැඩි නම්) හෝ ඔබට ඊට පෙර මත්පැන් නැවැත්වීම නිසා ඇති වන රෝග ලක්ෂණ ඇති වී ඇත්නම්, ඔබටද එම රෝග ලක්ෂණ සමනය කිරීමට අවශ්‍ය ඖෂධද සමඟ ගෙදරදීම විෂහරණය කළ හැකි විය හැක. ක්ලෝඩිඇක්සපොක්සයිඩ් (Chlordiazepoxide) නම් සහන ඔසුවක් (tranquillizer) මේ සඳහා සාමාන්‍යයෙන් භාවිතා කෙරේ.

ඔබේ ඇබ්බැහිය උග්‍ර නම්, ඔබට විෂහරණය සඳහා රෝහලට හෝ සායනයකට සහභාගි වීමට සිදු විය හැක. මෙයට හේතු වන්නේ මත්පැන් නැවැත්වීම නිසා ඇති වන රෝග ලක්ෂණද උග්‍ර වීම නිසා විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වීමේ හැකියාවක් පැවතීමයි.

මත්පැන් නැවැත්වීම නිසා ඇති වන රෝග ලක්ෂණ මේවා උපරිම ලෙස ප්‍රදර්ශනය වන්නේ පළමු පැය 48 තුළදීයි. ඔබේ සිරුර මත්පැන් රහිත තත්ත්වයන්ට හැඩ ගැසීමත් සමඟ ඒවා ක්‍රමයෙන් අඩු වී යනු ඇත. මෙයට ඔබේ අවසන් මත්පැන් පානයෙන් දවස් 3 සිට 7 දක්වා කාලයක් සාමාන්‍යයෙන් ගත වේ.

ඔබේ නින්දට බාධා වන බවද ඔබට දැනේවි. ඔබට නින්දට යාම අපහසු වීම හෝ රාත්‍රියේ කිහිප වතාවක් අවදිවීම ඇති විය හැක. මෙය බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් වන අතර ඔබේ නිදා ගැනීමේ රටාව මාසයක් තුල සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇත.

විෂහරණය කරන කාලය තුළ ඔබ දියර වර්ග වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කිරීමට සැලකිලිමත් වන්න (දවසකට ලීටර් 3ක් පමණ). කෙසේ වෙතත්, ඔබේ නින්ද සම්බන්ධ ප්‍රශ්න උත්සන්න වීම හා කාංසාව ඇති විය හැකි නිසා, තේ හා කෝපි ඇතුළු කැෆේන් අඩංගු පාන වර්ග ගැනීමෙන් වළකින්න. ජලය සහ පලතුරු ඇතුළු යුෂ වර්ග වඩා හොඳ තේරීම් වේ.

ඔබට බඩගිනි ඇති නොවුනත්, වෙලාවට කෑම ගැනීමට උත්සාහ කරන්න. ඔබේ ආහාර රුචිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇත. ඔබ මත්පැන් නැවැත්වීමේ රෝග ලක්ෂණ සමනය කිරීමට ඖෂධ ගන්නේ නම් ඔබ රිය පැදවීමෙන් වැළකිය යුතුය. බර යන්ත්‍රෝපකරණ සමඟ වැඩ කිරීම ගැනද ඔබ උපදෙස් ලබා ගත යුතුය.

ඖෂධ නිසා ඔබට නිදිබර ගතියක් ඇති වීමට ඉඩ ඇත. ඔබට නියම කර තිබෙන ලෙස පමණක් ඖෂධ ලබා ගන්න.

විෂහරණය කරන කාලය ආතති සහගත කාලයක් විය හැක. කියවීම, සංගීතයට සවන් දීම, ඇවිදීමට යාම හා ස්නානය වැනි ක්‍රම මගින් ඔබට ආතතිය අඩු කරගැනීමට උත්සාහ කළ හැක.

මත්පැන් පානය නැවැත්වීම මත්පැන් නිසා ඇති වන ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ඉතා වැදගත් ප්‍රථම පියවරකි. කෙසේ වෙතත්, මත්පැන් නැවැත්වීම පමණක් ඵලදායී ප්‍රතිකාරයක් නොවේ. ඔබට දීර්ඝකාලීනව සහය වීම සඳහා වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වේවි.

ඇබ්බැහි වීම සුවකිරීමට ඖෂධ

<0ඔකම්ප්රෝසේට් (>Acamprosate)- ඔකම්ප්රෝසේට් (Acamprosate) (වෙළඳ නාමය -කැම්ප්‍රල් Campral) මත්පැන් සාර්ථකව නැවැත්වූ අයවලුන් නැවත ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ලබා දෙයි. මෙය සාමාන්‍යයෙන් මත්පැන් පානයට ඇති ආශාව අඩු කිරීමට කෙරෙන උපදේශනයට සමගාමීව ලබා දෙයි.

ඔකම්ප්රෝසේට් (Acamprosate) මොළයේ අඩංගු ගැමා ඇමිනෝ බියුටීරික් ඇසිඩ් (gamma-amino-butyric acid -(GABA) යන රසායනිකයේ සාන්ද්‍රණයට බලපෑම් කිරීම මගින් ක්‍රියා කරයි. GABA මගින් මත්පැන් ගැනීමට ආශාව ඇති වීමට යම් ප්‍රමාණයකට දායක වන බවට සිතයි. ඔබට ඔකම්ප්රෝසේට් (Acamprosate) නියම කර ඇත්නම්, ඔබ මත්පැන් නැවැත්වීම ආරම්භ කළ වහාම එය ආරම්භ කිරීමට උපදෙස් දෙනු ඇති අතර එය මාස 6 ක කාලයක් දක්වා ලබාදිය හැක.

ඩයිසල්ෆිරාම් (Disulfiram) ඩයිසල්ෆිරාම් (Disulfiram) (වෙළඳ නාමය ඇන්ටබියුස් Antabuse) ඔබ මත්පැන් නැවැත්වීමට උත්සාහ කරන අතර නැවත ඇබ්බැහි වීම ගැන ගැටලුවක් ඇත්නම් හෝ කලින් නැවත ඇබ්බැහි වීම් සිදුව ඇත්නම් භාවිත කළ හැක.

ඔබ මත්පැන් පානය කළහොත් ඩයිසල්ෆිරාම් (disulfiram) මගින් ඔබට අප්‍රසන්න කායික ප්‍රතිචාර ඇතිවීමට හේතු වීම මගින් ඔබට මත්පැන් භාවිතයට බාධා ඇති කරයි. ඒවා නම්:

  • ඔක්කාරය
  • පපුවේ වේදනාව
  • වමනය
  • ක්ලාන්ත ගතිය

මත්පැන් වලට අමතරව, අප්‍රසන්න ප්‍රතිචාර ඇතිවීමේ හැකියාව නිසා මද්‍යසාර අඩංගු සියලු නිෂ්පාදන වලින්ද වැළකිය යුතුය. මද්‍යසාර අඩංගු විය හැකි නිෂ්පාදන වන්නේ:

  • ආෆ්ටර්ෂේව් (aftershave)
  • මුඛ පිරිසිදුකාරක (Mouthwash)
  • සමහර විනාකිරි වර්ග
  • සුවඳ විලවුන්

මද්‍යසාර වාෂ්පයක් ඇති කරන තීන්ත තිනර් හා ද්‍රාවක වලින්ද වැළකීමට ඔබ උත්සාහ කළ යුතුය.

ඩයිසල්ෆිරාම් (disulfiram) ගැනීම අවසන් කොට සතියක් ගතවන තුරුත් මද්‍යසාර සමග ගැටුණොත් අප්‍රසන්න කායික ප්‍රතිචාර ඇතිවන නිසා එම කාලය තුළදීද මද්‍යසාර වලින් වැළකී සිටීම වැදගත්ය.

නැල්ට්‍රෙක්සෝන් (naltrexone) නැල්ට්‍රෙක්සෝන් (naltrexone) යමෙකු පානය කරන මද්‍යසාර ප්‍රමාණය සීමා කිරීම සඳහා හෝ නැවත ඇබ්බැහිය වැළැක්වීමට භාවිත කළ හැක.

එය ශරීරයේ ඇති ඕපියොයිඩ් (opioid) ප්‍රතිග්‍රාහක අවහිර කිරීම මගින් මද්‍යසාර වල බලපෑම් අඩු කරයි. එය සාමාන්‍යයෙන් අනිකුත් ඖෂධ හා උපදේශන සේවා සමඟ ලබා දෙයි.

නැල්ට්‍රෙක්සෝන් (naltrexone) නිර්දේශ කරන්නේ නම්, එමගින් ඕපියොයිඩ් ප්‍රතිග්‍රාහක මත ක්‍රියා කරන මෝෆීන් (morphine) හා කෝඩේන් (codeine) වැනි වේදනානාශක වල ක්‍රියාකාරීත්වයද නවත්වන බවට ඔබව දැනුවත් කළ යුතු වෙයි.

නැල්ට්‍රෙක්සෝන් (naltrexone) භාවිත කිරීමේදී ඔබට අපහසුතාවක් දැනුණොත් වහාම එය නවත්වා ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පතන්න.

නැල්ට්‍රෙක්සෝන් (naltrexone) මාත්‍රාවක් මාස 6ක් දක්වා පැවතිය හැකි අතර සමහර විට ඊටත් වඩා වැඩි කාලයක් විය හැක. මෙම ඖෂධ කිසිවක් නියම කිරීමට පෙර, ඔබට රුධිර පරීක්ෂණ ඇතුළුව සම්පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.

නැල්මෙෆින් Nalmefene Nalmefene (වෙළඳ නාමය සෙලින්ක්‍රෝ (Selincro) කෙනෙක් පානය කරන මද්‍යසාර ප්‍රමාණය පාලනය කිරීම සඳහා හෝ නැවත ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා ලබා දිය හැක.

එය මොළයේ ඇති ඕපියොයිඩ් ප්‍රතිග්‍රාහක අවහිර කිරීම මගින් මද්‍යසාර අවශ්‍යතාවය අඩු කරයි.

මූලික පරීක්ෂණයෙන් පසු, ඔබට පහත තත්ත්ව ඇත්නම් මත්පැන් ඇබ්බැහිය සඳහා නැල්මිෆින් (Nalmefene) නිර්දේශ කළ හැක:

  • ඔබ තවදුරටත් දිනකට මද්‍යසාර ඒකක 7.5 කට වඩා (පිරිමි) හෝ 5 කට වඩා (ගැහැණු) පානය කරයි නම්
  • ඔබට මත්පැන් නැවැත්වීම නිසා ඇති වන කායික රෝග ලක්ෂණ නැත්නම්
  • ඔබට ඉක්මනින් මත්පැන් නැවැත්වීම අවශ්‍ය නැත්නම් හෝ සම්පූර්ණයෙන්ම වැළකීමට අවශ්‍ය නැත්නම්

ඔබට ප්‍රතිකාර දිගටම ගැනීමට හා මත්පැන් පානය අඩු කිරීමට සහයෝගය ලැබෙන්නේ නම් පමණක් නැල්මිෆින් (Nalmefene) භාවිතා කළ යුතුය.

ඇබ්බැහි වීම සුවකිරීමට චිකිත්සා

ස්වසාධන කණ්ඩායම් මත්පැනට ඇබ්බැහි වීමේ ගැටලු සහිත බොහෝ අයට ඇල්කොහොලික්ස් ඇනොනිමස් (alcoholics anonymous (AA) වැනි ස්වසාධන කණ්ඩායම් ප්‍රයෝජනවත් වේ.

AA පිටුපස ඇති ප්‍රධාන විශ්වාසයක් වන්නේ මත්පැන් වළට ඇබ්බැහි වීම දීර්ඝ කාලීන හා ක්‍රමයෙන් වැඩිවන රෝග තත්වයක් වන අතර එයට ඇති එකම විසඳුම ඉන් සම්පූර්ණයෙන්ම වැළකීම යන්නයි.

ඔබේ ඇබ්බැහි වීම ජය ගැනීමට උපකාරී වීම සඳහා සැලසුම් කරන ලද පියවර 12ක වැඩසටහනකින් එම ප්‍රතිකාර ක්‍රමය සමන්විතය.

මත්පැන් වලට එරෙහිව ඔබ බල රහිත වූ බවත් ඔබේ ජීවිතය පාලනයකින් තොර වූ බවත්, ඔබ වැරදි කළ බවත්, හැකි අවස්ථාවලදී ඔබ විසින් හානි කරනු ලැබූවන්ගෙන් සමාව ගැනීමත් එම පියවර වලට අඩංගු වේ.

පියවර 12 පහසුකම් සැපයීමේ චිකිත්සාව

පියවර 12 පහසුකම් සැපයීමේ චිකිත්සාව, AA මගින් සකස් කරන ලද වැඩසටහන මත පදනම් වේ. වෙනස වන්නේ කණ්ඩායමක් සමග කටයුතු කිරීම වෙනුවට මුහුණට මුහුණලා හමුවන උපදේශකයෙකු සමග ඔබ කටයුතු කිරීමයි.

ඔබ කණ්ඩායමක් ඉදිරියේ ඔබේ ගැටලු සාකච්ඡා කිරීමට අකමැති හෝ අපහසු නම් මෙම ක්‍රමය ඔබේ කැමැත්ත සහිත ක්‍රමය විය හැක.

සංජානන චර්යාත්මක චිකිත්සාව සංජානන චර්යාත්මක චිකිත්සාව යනු මත්පැන් වලට ඇබ්බැහි වීම කෙරෙහි ගැටලු විසඳීමේ ප්‍රවේශයකින් බලන වාචික චිකිත්සා ක්‍රමයකි.

මෙම ප්‍රවේශය මගින් මත්පැන් වලට ඇබ්බැහි වීමට දායක විය හැකි පහත දැක්වෙන ආකාරයේ අතාත්වික හා අනර්ථකාරී සිතිවිලි හා විශ්වාසයන් හඳුනා ගැනීමට උපකාරී වේ, ඒවා නම්:

  • "මට මත්පැන් නැතිව නිස්කලංක වෙන්න බෑ"
  • "මම බිව්වෙ නැත්නම් මගෙ යාලුවන්ට මාව එපා වෙයි"
  • "පොඩ්ඩක් බිව්වට මුකුත් වෙන්නේ නෑ"

මෙයාකාරයේ සිතිවිලි හා විශ්වාසයන් හඳුනා ගැනීමෙන් පසුව, ඔබට වඩා තාත්ත්වික හා අර්ථසම්පන්න පහත ආකාරයේ සිතිවිලි ඇති කරගැනීමට මග පෙන්වනු ලැබේ, ඒවා නම්:

  • "බොහෝ අය මත්පැන් නැතිව සතුටින් කල්ගත කරන අතර මටත් ඉන් අයෙක් විය හැකියි."
  • "මගේ යාලුවො කැමති මම කවුද කියන එකට මිසක් මගේ බීමත්කමට නොවෙයි"
  • "මම දන්නවා බොන්න පටන් ගත්තොත් මට නවත්ත ගන්න බෑ කියලා"

ඔබට මත්පැන් පානය කිරීමට ආශාව ඇති කරන පහත ආකාරයේ හේතු හඳුනා ගැනීමටද සංජානන චර්යාත්මක චිකිත්සාව උපකාරී වේ, ඒවා නම්:

  • මානසික ආතතිය
  • සමාජ සාංකාව
  • සමාජ ශාලා, මත්පැන් හල් වැනි"අධි අවදානම්" පරිසරයන්හි ගැවසීම

ඔබේ චිකිත්සකවරයා ඔබට ඒවායින් වැළකීමට හා නොවැලැක්විය හැකි අවස්ථාවලදී හැසිරිය යුතු ආකාරය කියාදෙනු ඇත.

පවුල් චිකිත්සාව මත්පැන් වලට ඇබ්බැහි වීම තනි පුද්ගලයකු කෙරෙහි පමණක් බලනොපාන අතර සම්පූර්ණ පවුලටම එය බලපෑ හැකිය. පවුල් චිකිත්සාව මගින් පවුලේ සාමාජිකයන්ට පහත දැක්වෙන දේට අවස්ථාව ලබා දෙයි:

  • මද්‍යසාර ඇබ්බැහි වීමේ ස්වභාවය ගැන ඉගෙනීම
  • මත්පැන් වලින් වැළකීමට උත්සාහ කරන පවුලේ සාමාජිකයාට සහයෝගය ලබාදීම

පවුලේ සාමාජිකයන් වෙනුවෙන්ද සහයෝගය ලබාදීම සිදු කෙරේ. මද්‍යසාර අවභාවිත කරන්නෙක් සමඟ ජීවිතය ආතතියෙන් යුක්ත විය හැකි අතර, එනිසා සහයෝගය ලැබීම බොහෝ විට ඉතාම ප්‍රයෝජනවත් විය හැක.

මත්පැන් දිනපොත

ඔබේ මත්පැන් පානය අඩු කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, "මත්පැන් දිනපොතක්" තබා ගැනීම සමහර විට නිර්දේශ කරනු ඇත. දෛනිකව පහත දේ සටහන් කරන්න:

  • ඔබ භාවිත කළ සියලුම මද්‍යසාර පානයන්
  • ඔබ ඒවා ලබාගත් වේලාවන්
  • ඔබ සිටි ස්ථානය
  • ඔබ පානය කළ ඒකක ගණන

මෙමගින් ඔබ මත්පැන් පානය කරන ප්‍රමාණය, පානය කරන අවස්ථා හා මත්පැන් සීමා කිරීම කළ හැකි ක්‍රම ගැන හොඳ අවබෝධයක් ලබා දෙනු ඇත.